login with your email
If you don't have an account Sign Up with details now
By login in you agree to our terms of use and privacy policy and support the services at all cause
සංස්කාරක සටහන
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පොළොන්නරුවට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. වසර එකසිය හැට හයක් පමණ පැවති ඓතිහාසික පොළොන්නරු රාජ්‍යය බිඳවැටීමෙන් පසුව මින්නේරිය ගොවිජනපද ව්‍යාපාරය ආරම්භයත් සමඟ යළිත් වරක් මෙම පළාත තුළ ජනාවාසකරණය ඇරඹිණි. එමෙන්ම මෙම ප්‍රදේශය ජාතියට බත සපයන සශ්‍රීක භූමි භාගයකින් හෙබි, ඓතිහාසික වටිනාකම් රැසක් සහිත පළාතකි. මෙම ප්‍රදේශය ආශ්‍රිතව ගොඩනැගුණු දැවැන්ත ඉතිහාසය සහ පසුකාලීන ක්රමික සංවර්ධනය සැලකිල්ලට ගැනීමේදී මෙවැනි ශාස්ත්‍රීය ප්රකාශනයක් සංස්කරණය කිරීමට ලැබීමද අප කණ්ඩායම ලද වාසනාවක් ලෙස අපි සලකන්නෙමු.
මීට වසර හතකට පමණ ඉහත, ‘ඓතිහාසික පොළොන්නරුව’ අළලා, ශාස්ත්‍රීය ලිපි සංග්‍රහයක් ප්‍රකාශයට පත් කිරීමේ ඇති අවශ්‍යතාවය සාකච්ඡා වූයේ, එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ව සිටි ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පොළොන්නරුවට ඉටුවිය යුතු ජාතික අවශ්‍යතාවක් සම්පූර්ණ කිරීමට එතුමා තුළ වූ දැඩි වුවමනාවක් නිසාමය. එහි ක්රමික විකාශය මෙම මුද්‍රිත ප්රකාශනය ජනගත කිරීම දක්වා පදනම් වී ඇත. ඓතිහාසික තමන්කඩුව ප්‍රදේශය අළලා ඓතිහාසික වටිනාකම් රැසක් යළිත් අධ්‍යයනය කිරීමත්, ඒවා ලේඛනගත කර මතු පරපුරට ආරක්ෂා කර තැබීමත් පසුකාලීන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ යළි කරුණු අධ්‍යයනයත් සහ මෑතකාලීනව සිදුවී ඇති සංවර්ධනය විග්රහ කිරීමත්, මෙම ශාස්ත්‍රීය ප්රකාශනය තුළින් අපි අපේක්ෂා කළෙමු. එමෙන්ම මෙම ශාස්ත්‍රීය ප්රකාශනය සම්පාදනය කිරීමෙහිලා තවත් එක් මූලික අරමුණක් වූයේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් හා සාමාන්‍ය ජනතාව තුළ පොළොන්නරු දිස්ත්‍රික්කය ආශ්රිත ඓතිහාසික තොරතුරු හා දැනුම දියුණු කිරීමයි. මේ තුළින් පැතිරුණු විෂයපථයන් රැසක් එක ශාස්ත්‍රීය ප්රකාශනයකට අන්තර්ගත කිරීමට අපි උත්සාහ කළෙමු. එය එතරම් පහසු කටයුත්තක් නොවීය. ඓතිහාසික පොළොන්නරුව පිළිබඳ විග්රහ කිරීමේදී සෝමාවතිය, මැදිරිගිරිය හා දිඹුලාගල මුතුගල යන ඓතිහාසික ස්ථාන මූලික කරගෙන, ඒ වටා වූ අනෙකුත් මාතෘකා ගොඩනගා ඇත. ඊට හේතු වූයේ, ශ්‍රී ලාංකේය ඉතිහාසයේ මෙම ඓතිහාසික ස්ථාන අප ජාතියට ඉතිරි වූ ප්‍රබල සාධක රැසක් ඇති අතිමහත් වටිනාකමකින් යුතු ක්ෂේත්‍ර භූමි වීම නිසාමය. අනුරාධපුරයේ මිහින්තලයත්, අම්පාර රජගලත්, හම්බන්තොට සිතුල්පව්වත් ඓතිහාසික වශයෙන් අපට වැදගත් වන්නේ යම් සේ ද, පොළොන්නරු දිස්ත්‍රික්කයේ මුතුගල ලෙන් විහාරය ද ඊට සමාන්තර ඓතිහාසික වටිනාකමක් සහිත පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථානයක් වශයෙන් හඳුන්වාදිය හැකිය. රාජ්‍ය යුගයේ වල්වැදුණු මුතුගල යළි ජාතියට විවෘත වන්නේ මෑතකදීය. මෙම ස්ථානය පිළිබඳ ප්‍රාමාණික තොරතුරු සහිත ප්‍රථම හෙළිදරව්ව සිදු වන්නේ මෙම කෘතියෙන් වීම ඊට සමාන වටිනාකමක් ඇති කරවන්නකි. මේ වන විට මුතුගල ලෙන් විහාර භූමියේ ගල්ලෙන් 27කට ආසන්න සංඛ්‍යාවක් එළි පෙහෙළි කර ඇති අතර තවත් ගල්ලෙන් මෙම භූමිය තුළ ඇති බව විශ්වාස කෙරේ. ඒ නිසාම මෙම ශාස්ත්‍රීය ප්රකාශනය තුළින් මුතුගල ලෙන් විහාරය පිළිබඳව ඉදිරිපත් කෙරෙන තොරතුරු පුරාවිද්‍යාඥයන්ට මෙන්ම මෙම විෂයට ඇලුම්කරන ශාස්ත්‍රඥයන්ට ද ප්‍රයෝජනවත් වනු නොඅනුමානය. ඉදිරියේදී මුතුගල ලෙන් විහාරය මෙරට බොහෝ දෙනකුගේ අවධානය යොමු වන ස්ථානයක් වනු ඇතැයි අපි විශ්වාස කරමු. එමෙන්ම මෙම ස්ථානයේ දැනට පවත්නා අගනා පාරිසරික සාධක සියල්ලම ආරක්ෂා කර ගනිමින් මෙම ස්ථානය පරිහරණය කරන මෙන් සංස්කාරක මණ්ඩලය වශයෙන් අපි ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙම ශාස්ත්‍රීය ප්රකාශනය සම්පාදනයේදී ඓතිහාසික පොළොන්නරු ක්ෂේත්‍ර අධ්‍යයනයේදී අපට හඳුනාගත හැකි වූ වටිනාකම් රැසකි. ප්‍රදේශය පුරා විහිදී ඇති වටිනා ඡායාරූප හා පැරණි ලිපි ලේඛන සුරක්ෂිත කිරීමේ ඇති මහඟු වටිනාකම අපි යළි යළිත් අවධාරණය කරන්නෙමු. එය තවදුරටත් කාලය ගත නොවී සිදුවිය යුතු ජාතික අවශ්‍යතාවයකි. තමන්කඩුව ප්‍රදේශයේ සමාජගතව ඇති ඒ අතර සුවිශේෂී වේ. එමෙන්ම පොළොන්නරු දිස්ත්‍රික්කය පුරා ඉතා වටිනා ඡායාරූප, ඓතිහාසික ලේඛන, අධි ලේඛන රැසක් ඇති බව ද අපට මෙම අධ්‍යනයේදී දැකගත හැකිවිය. මේ සියල්ල සංරක්ෂණය කිරීමට ඇති අවශ්‍යතාවය මෙම කෘතිය සම්පාදනයේදී අපට පැහැදිලි විය. ඉදිරි කාල පරිච්ඡේදය තුළ පොළොන්නරු දිස්ත්‍රික්කයේ ජංගම සේවාවක් මගින් උක්ත ඓතිහාසික ලේඛන පිටපත් කර සංරක්ෂණය කර පුරාණ උරුම කෞතුකාගාරය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල මෙන්ම පුලතිසි මණ්ඩපයේද සහයෝගයෙන් ජාතියට දායාද කිරීමට ද අපි අදහස් කරන්නෙමු. එමෙන්ම පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාසල් අතර ඓතිහාසික තොරතුරු අළලා විවිධ තරග හා ව්‍යාපෘති මගින් මෙම කෘතිය පාසල් දරුවන්ගේ අත්පොතක් බවට පත් කිරීමද අපි අදහස් කරමු. මේ සඳහා පොළොන්නරු දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සිසුන්ගේ සහයෝගය අපි වෙත ලැබෙනු ඇතැයි විශ්වාස කරමු.
මේ ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය ඇරඹෙන්නේ ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමතිවරයාව සිටි අවධියේය. තමන්කඩුව පළාතේ මධ්‍යම පාංතික ගොවි පවුලකින් පැවතගෙන විත් විවිධ බාධක මධ්‍යයේ මහා ගිරිදුර්ග තරණය කරමින් ශ්‍රී ලංකාවේ හයවන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මෙය ජනගත කළ හැකි වීම සංස්කාරකවරුන් ලෙස අප ලද භාග්‍යයක් සේ සලකන්නෙමු. ඓතිහාසික තමන්කඩුව වැව්බැඳි රාජ්‍යයේ විහිදී ඇති විෂය පථයන් කීපයක් අළලා අධ්‍යයනය කර සම්පාදිත මේ කෘතිය විචාරයට ලක් කිරීමේ කාර්යය පාඨක ඔබ සතුය.
මේ සඳහා ලිපි ලබාදීමෙන් මේ සද්කාර්යට දායක වූ ප්‍රතිභාපූර්ණ ලේඛක මණ්ඩලය පිළිබඳව අප සතුටට පත් වන අතර මෙහි ඇතුලු ලිපිවල අන්තර්ගතය පිළිබඳ පූර්ණ වගකීම ඔවුන් සතු වන බවද විශේෂයෙන් සඳහන් කරමු. මේ ලිපි සංක්ෂිප්තව ඉදිරිපත් කිරීමට සෑම විටම උත්සාහ දරා ඇත්තේ ප්‍රායෝගික ප්‍රකාශ අවශ්‍යතා මතය. එබැවින්, එමගින් සාකච්ඡාවට ලක් කෙරෙන හා ඉදිරිපත් කෙරෙන තොරතුරු පිළිබඳව තවදුරටත් ගවේෂණයට ඇති අවස්ථා බොහෝ වේ. ඒ සඳහා දායක වී අපගේ මේ කුඩා ප්රයත්නයට තවදුරටත් වටිනාකමක් ලබාදීමට මේ විෂයයන් පිළිබඳ අධ්‍යයනය හා පර්යේෂණ කටයුතු වල නියැළී විද්වතුන් විසින් කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. කෙසේ වුවත්, කොතෙකුත් තොරතුරු තව තවත් ඒ ඒ ලිපිවලට එකතු කිරීමේ ඇති හැකියාව අපි බැහැර නොකරන්නෙමු. ඒ සියල්ල මේ පිළිබඳ අධ්‍යයනය කිරීමට සූදානම් වී සිටින ශාස්ත්‍රඥයන්ට අපි භාර දෙන්නෙමු. පොළොන්නරුව ආශ්‍රිතව ලියැවී ඇති ශාස්ත්‍රීය ප්‍රකාශන අතරට “පොළොන්නරුව - නරපති යුගයේ සිට ජනපති යුගය දක්වා” නමැති මෙම ශාස්ත්‍රීය ප්රකාශනය අපි අද මහත් ආඩම්බරයෙන් එකතු කරන්නෙමු.
මෙම ශාස්ත්‍රීය ප්රකාශනය සම්පාදනයේදී අප ලබාගත් අත්දැකීම් හා අවබෝධය මත තවත් මෙවැනි ප්‍රකාශන ජාතියට එකතු කිරීමේ ඇති ජාතික අවශ්‍යතාවයද අවබෝධ කරගෙන ඇත්තෙමු. ඒ අනුව පොළොන්නරුව ආශ්රිත මීළඟ කෘතිය රැගෙන අපි ඔබ ළඟට පැමිණෙන බව පමණක් මෙහි අවසන් වශයෙන් සටහන් කර තබන්නෙමු. එමෙන්ම මෙම ශාස්ත්‍රීය ප්රකාශනය සම්පාදනය කිරීමෙහිලා සහාය වූ සැමට නැවතත් ස්තුතිය පිරිනැමීමට අපි මෙය අවස්ථාවක් කර ගන්නෙමු.
සංස්කාරක මණ්ඩලය
ටිකිරි හේරත් ගුණතිලක
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඊ.ඒ. වික්‍රමසිංහ
එල්.ඒ. ජයතිස්ස
Sold By
Presidential Secretariatපොළොන්නරුව, නරපති යුගයේ සිට ජනපති යුගය දක්වා
Jayampathi Dodanwela
Sun, 09/01/2019 - 23:26
Kiyawamu.lk
Nadeesha
Mon, 09/02/2019 - 00:03
New
samantha senarath
Tue, 09/03/2019 - 13:07
all
Sampath
Mon, 11/25/2019 - 23:08
පොලොන්නරුව ශාස්ත්‍රීය සංග්‍රහය